May 13, 2013

FIVERR ගැන දැනගනිමු - පළමු පාඩම

      ඔන්න යාළුවෝ කට්ටියට පොරොන්දු වූ පරිදිම අද ඉදන් මම ඔයාලට Fiverr පාඩම් පෙළ ඉදිරිපත් කරනවා.. බ්ලොග් එකට ලිපියක් ලිව්වේ කාලෙකට පස්සේ.. අලුතින් ලිපි පළ නොවෙන නිසා බ්ලොග් එකට එන යාළුවොත් ගොඩක් අඩුවෙලා... සමහර අය නම් දවසට එක සැරයක් හරි ඇවිත් ගිහින් හිටියා... ඒ හැමෝටම මුලින්ම ස්තූති කරන්න ඕන.. මොනවා වුනත් මම හැකි සෑම විටම බ්ලොගයට ලිපියක් දාන්නයි උත්සාහ කළේ, කරන්නෙත්.. ඒ අතරෙම අපේ යාළුවෝ ගොඩක් අය විවිධ ඉල්ලීමි කරලා තිබුණා. ඒ හැම එකකටම පිළිතුරක් ලබා දෙන්න කාලයක් තිබුනේ නැහැ... ඒත් එයාලගේ ඉල්ලීම් අහක දාන්නේ නෑ... අනිවාර්යෙන් එයාලා ඉල්ලන දේ මම හැකි උපරිමයෙන් ලබාදෙනවා.. සමහර කමෙන්ට්වලට රිප්ලයි නොකළාට තරහා වෙන්න එපා... අනිවාර්යෙන් ඒවාට අදාළ දේ මම ලිපි මගින් ඉදිරියේදී ලබා දෙනවා... හොදයි.. එහෙනම් අද ලිපියට අවදානය යොමු කරමු...




Fiverr..!! Fiverr කියන්නේ මොකක්ද?






      අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම කීපයක් ගැන ලිපි ලියුවත් අද ලියන ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ වඩාත් ප්‍රායෝගිකව මුදල් ඉපැයීමට හැකි වෙබ් අඩවියක් පිළිබදවයි. ඇත්තටම ෆයිවර් කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්... එක එක අය එක එක අර්ථකථනයන් මීට ලබා දෙනවා.. ඇත්තටම ෆයිවර් කියන්නේ මොකක්ද? Fiverr කියන්නේ පහට වැඩ කරදෙන වෙළදපොළ යන්නයි. කෙටියෙන් කියනවානම් අපට පුළුවන් වැඩක් කරලා දීලා $5 ක් ගන්න පුලුවන් වෙබ් අඩවියක්.. මෙවැනි අඩවි කීපයක්ම අන්තර්ජාලයේ දකින්නට පුලුවන්.. නමුත් ෆයිවර් මේ අඩවි අතරින් ඉදිරියෙන්ම සිටිනවා.. ලංකාවේ කෙතරම් මෙම අඩවිය ප්‍රචලිත ද කියනවා නම් මෙම අඩවියට වැඩිම රෑන්ක් එකක් ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන්.. හොදයි..!! ඉතින් ෆයිවර් කියන්නේ මොකක්ද කියලා අදහසක් ගන්න නම් මේ අඩවියට යන්නම ඕනේ.. ෆයිවර් නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.



      ගොඩක් දේවල් දකින්න ඇති කියලා හිතනවා.. ගොඩක් ප්‍රශ්න දැන් ඇති අහන්න. ඔවි ඒවා සියල්ලටම මෙම ෆයිවර් පාඩම් පෙළින් මම පිළිතුරු ලබාදෙනවා.. ඔයා හරියට මේකෙදි උනන්දුවෙන් වැඩ කළොත් ඔයාට ඇත්තටම ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා... දැනටත් මේ අඩවිය හරහා ලංකාවේ ගොඩක් අය සාර්ථකව මුදල් ඉපැයීම සිදුකරනවා..  ඉතින් ඒ ගොඩට ඔයාවත් එකතුකරන අදහසින් තමයි මම මේ ලිපි පෙළ ලියන්නට හිතුවේ.. ඕනෑම දෙයක් සාර්ථක කරගැනීමට විවිධ රහස් තියෙනවා.. ඉතින් මේ ලිපිපෙළදී රහස් කීපයක්ම ඔයාලට කියලා දෙනවා.. හැබැයි තවත් දෙයක් කිව යුතුමයි.. රහස් කියන්නේ ප්‍රසිද්ධ කළ යුතු දේවල් නෙමෙයි.. එහෙම කියන්නේ ඒවා ප්‍රසිද්ධ වෙන්න වෙන්න ඒ රහස්වලින් දෙයක් වෙනවනම් ඒ දේ නොවෙන තැනට ඒවා පත් වෙනවා.. ෆයිවර්වල දියුණුවෙන්න රහස් ඕනෑ තරම් තියෙනවා.. වැදගත්ම දේ ඒවා ස්ව්‍යං අධ්‍යයනයෙන්ම අවබෝධ කරගැනීමයි. මේ සදහා මට දෙන්න පුලුවන් වටිනාම කියමන තමයි රාමුවකට කොටු නොවී හිතන්න පටන් ගන්න කියන එක. ඇත්තටම ඒක හිතේ තියාගෙන වැඩකරන්න පුරුදු වෙන්න. ඒක ෆයිවර්වලට විතරක් පොදු දෙයක් නෙවෙයි. අපි කරන කියන සෑම දෙයකටම ඒ ක්‍රමය පොදුයි. මේ කරුණු ඔළුවේ තියාගෙනම ෆයිවර්වල මුදල් ඉපැයීම සිදුකරන අන්දම දැන් බලමු..



Fiverr වලදී මුදල් හොයන්නේ කොහොමද?



      ෆයිවර්වලදී අපට යම්කිසි වැඩක් කරදී මුදලක් උපයාගන්න පුලුවන්.. ඉතින් අපි වැඩක් කරලා දෙන එක ගැන අපිට විස්තරයක් දාන්න ඕනනෙහ් අනික් අයට පෙනෙන්නට.. ඉතින් ෆයිවර්වලදී අපි ඒවාට කියන්නේ Gig එකක් කියලායි. Gig එකකට 5$ ක වටිනාකම් තියෙන්නේ. Gig එකක් මගින් 4$ ක් අපටත් Gig එකින් 1$ ක් ෆයිවර් සමාගමටත් ලැබෙනවා.. අපගේ Gig එක මිළදී ගන්නා පුද්ගලයාට අප කරදෙන කාර්යයට අවශ්‍ය දින ගණන අප සැළසුම් කළ යුතුයි. ඒ සදහා ඔබට කොපමණ දින ගණනක් යන්නේ දැයි පාරිබෝගිකයින්ට දැන්වීමට පිරවිය යුතු කොටසක් ගිග් එකක් හදද්දී දකින්නට පුලුවන් වේවි. ෆයිවර් මගින් උපයන මුදල් අපට ලබාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පේපැල්, අනෙක ෆයිවර් Revenue Card එක මගින්.. මම ඔයාලට කලින් කිව්ව ලිපියෙන් ඒ කාඩ් එක ගන්න විදිහ තමයි පැහැදිළි කරේ. නමුත් මෙම කාඩ් එකෙන් මුදල් ගන්න නම් ඔයා Level 1 Seller කෙනෙක් වෙන්න ඕන. මොකක්ද මේ Level කතාව? ඒ ගැනත් ඉදිරියේදි කියන්නම්. දැනට දළ අදහසක් ගන්න, ෆයිවර්වල Levels 3ක් තියෙනවා. Level 1 වෙන්න නම් අපි අපේ ගිග් 10ක් විකිණීම සිදුකර තිබිය යුතු අතර අපේ ෆයිවර් ගිණුම මාසයක් පරණ වෙන්නත් ඕන. ෆයිවර්වලදී අපි උපයන මුදල් අපගේ ෆයිවර් ගිණුමේ $100 ක් පමණ වෙනතෙක් එකතු කිරීම ගොඩක් අපට ලාභදායි වෙනවා. ඒ ඇයි? ෆයිවර්වලින් අපි මුදල් withdraw කරද්දී 2% ක් කැපෙනවා. ෆයිවර් Revenue Card එක මගින් මුදල් ගැනීමේදී අයවෙන ගාස්තු පිළිබද කළින් ලිපියෙනුත් සදහන් කළ නිසා නැවත මතක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැනේ.. හොදයි..!



      ෆයිවර්වලදී අපි කරන දේවල් වර්ගීකරණයක් අනුව කොටස්වලට බෙදා තිබෙනවා. ප්‍රධාන වශයෙන් Graphics & Design, Video & Animation, Online Marketing, Writing & Translation, Advertising, Business, Programming & Tech, Music & Audio, Fun & Bizarre, Lifestyle යනුවෙන් බෙදීමකට ලක්කරනවා. ඔයා කරන්න යන දේ ගැන මුලින්ම කල්පනා කරන්න. ඔයාගේ හැකියාවන්ට අදාළව එක් ක්ෂ්‍රේත්‍රයක් තෝරාගැනීම වඩාත් යෝග්‍යයයි.

 

Fiverrවලදී ඔබ සැළකිලිමත් විය යුතු කරුණු මොනවාද?



      අපට ෆයිවර් ගිණුම තුළ එකවර උපරිමය ගිග් 20ක් දැමිය හැකියි. මෙහිදී එක් එක් ගිග් එකේදී කරදෙන කාර්යයන්ට අනුව අපට ඒ සදහා ගතවන කාලය සදහන් කර ඇති දිනය අවසන් වන කාලයට පෙර එක් එක් ගිග් එකෙන් කර දෙන කාර්යය Deliver කිරීම කළ යුතුයි.



      උදාහරණයක් ලෙස I will give you 500 facebook likes for $5 යනුවෙන් ඔබගේ ගිග් එකක් තිබුනා කියලා හිතන්න. ඔයා දින දෙකක් ඇතුළට එම කාර්යය සිදුකර දෙනවා කියාත් සදහන් කර තිබුනානම් ඔයා ඒ කාලය අවසන් වීමට පෙර පාරිබෝගිකයාට facebook likes 500 ලබා දී Deliver කල යුතුයි. නමුත් ඔබ එම කාර්යය සිදුකර දී අවසන් වී Deliver කිරීමෙන් පසු පාරිබෝගිකයා likes ප්‍රමාණය පරීක්ෂා කරන විටදී 1000ට අඩුවුවහොත් ඔහු ඔබට Negative Feedback එකක් හෝ Rejectකිරීමක් සිදු කළ හැකියි. මොකක්ද මේ Negative Feedback? හරි ඒක පස්සේ කියන්නම්. Rejectකිරීමක් සිදුවූයේ නම් ඔයාට අඩුවුනු likes ප්‍රමාණය නැවත ලබාදී නැවත Deliver කිරීම සිදුකළ හැකියි. කාර්යය සාර්ථක බව පාරිබෝගිකයා සදහන් කළ විට ඔබගේ ගිණුමට මුදල් ලැබේ. එම මුදල දින 14ක් ගිය පසු ඔබට පේපැල් ගිණුමට withdraw කල හැකියි. කිසිවිටකවක් ෆයිවර් ගිණුම් එකකට වඩා හදන්න යන්න එපා.

 

ෆයිවර්වල වැඩ කරන්න මට තියෙන්න ඕනේ මොනවාද?



      මෙහි සිදුකෙරෙන කාර්යයන් සියල්ල සිදුකරන්නේ විදේශිකයින් සමග බැවින් තරමක හෝ English දැනුමක් අවශ්‍යයි. විශේෂයෙන් Englishවලින් කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ. ඉහත සදහන් කළ වර්ගීකරණයන්ට අදාළව එක් විෂය ක්ෂ්‍රේත්‍රයක් පිළිබදවවත් අවබෝධයක් , හැකියාවක් පැවතිය යුතුයි. උදාහරණයක් විදිහට ඔයාට පොටෝෂොප් වැනි දෙයක් පුළුවන්නම් ඊට අදාළව ගිග්ස් කීපයක් නිර්මාණය කර දමන්නට පුලුවන්. ඔයාගේ හැකියාවන් අදුනාගෙන ඊට අදාළව ගිග්ස් නිර්මාණය කරන්න. දැන් ගොඩක් ගොඩ පීනුවා අපේ යාළුවෝ ටික. :D පීනන්න ඉගෙන ගන්න නම් ගොඩ පීනලා හරියන්නේ නැහැ.. වතුරට බහින්නම ඕනේ... දැන් අපි වතුරට බහින්නයි යන්නේ..



      මුලින්ම බලමු ඔයාගේ පළවෙනි සාර්ථක පියවර කියන්නේ කොහොමද කියලා.. ලිපිය ඉහත හොදින් බැලුවොත් මම කියලා ඇති ඔයාට එක් විෂය ක්ෂ්‍රේත්‍රයක් තෝරාගන්න කියලා.. මේක ගොඩක් වැදගත් දෙයක්... ඒ නිසා ඔයා දැන්මම ඔයා කරන්නට බලාපොරොත්තු වෙන දේවල් අදාළවන Category එක මොකක්ද කියලා බලන්න. ඉහත දුන්නේ ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කර ඇති සටහනයි. හොදයි ඔයා කාණ්ඩය තෝරාගන්න ඇති කියලා හිතනවා. දැන් අපි අපගේ ෆයිවර් ගිණුම හදමු.



      මුලින්ම ෆයිවර් වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. දැන් පහත පරිදි දිස්වේවි. ආහ්...!! රෙජිස්ටර් වෙන්නද හැදුවේ..? මතකයි නේද මම ඔයාට කිව්වා ඔයා කරන දේට අදාළ Category එක මොකක්ද කියලා මතක තියාගන්න කියලා..!! ඔයාගේ Category එක Graphics & Design නෙවෙයි නම් ඔයා ඔය විදිහට රෙජිස්ටර් වෙලා වැඩක් නෑ.. ගිග්ස් විකිනෙන්නේ නැති වෙයි. කළින් ලිපියෙන් මුදල් උපයන වෙබ් අඩවියක් ගැන ලිපි පෙළක් පළකරනවා කිව්වාට ඒ වෙබ් අඩවියේ නම නොකිව්වේත් ඒ හේතුව නිසාම තමයි. දැන් මොකද කරන්නේ,?? ඔයා කළින් ගිණුමක් හැදුවට ඕඩර්ස් නැතිද? එහෙනම් කළබල වෙන්න එපා. ආයේ ඒ ගිණුමට අවසන් වතාවට ලොග් වෙලා ගිග්ස් සේරම ඩිලීට් කරන්න. දැන් ලොග්අවුට් වෙන්න. බයවෙන්න එපා ඔයා දැන් මේ විදිහට අලුතින් ගිණුමක් සදන්න. හැබැයි කළින් සාදපු ගිණුමට කිසිම හේතුවකට ආයේ ලොග් වෙන්න එපා. හරි..! එහෙනම් Category එක Graphics & Design නෙවෙයි නම් ඔයා USA විදිහට ගිණුම හදන්න. USA විදිහට අන්තර්ජාලයේ සැරිසරන්න අපේ අය නොදන්න දෙයක් නෙමෙයිනෙහ්.. ඉතින් ඒවාට තමා VPN කියලා දෙයක් තියෙන්නේ. මේ ලිපියෙන් ඒ ගැන වැඩි විස්තරයක් දෙන්න නම් බැරිවෙයි.  VPN භාවිතය පිළිබදව ඕනෑතරම් ලිපි අන්තර්ජාලයෙන් සොයාගැනීමට පුලුවන්.. ඒ ගැන ගැටලුවක් කර ගැනීම අනවශ්‍යයි. දැන් අහන්න පුලුවන් ඇයි ලංකාවේ විදිහට ගිණුම හැදුවොත් මොකද වෙන්නේ කියලා... ඇත්තටම මුකුත් වෙන්නේ නැහැ.. ගිණුම හදපු දවසේ තිබ්බා වගේම තියේවි. හැමදාටමත්... ඇයි ඒ? මගෙන් නම් අහන්න එපා.. අපේ රටේ නම කැතවෙලාවත්ද? මම නම් දන්නේ නැහැ... ඇයි එහෙනම් ග්‍රැෆික් ගිග්ස් නම් කරන්නේ ලංකාවේ විදිහට දාන්න කිව්වේ? ඒ මොකද ලංකාව ෆයිවර් තුළ ග්‍රැෆික් වැඩකරුවන් ඉන්න රටක් විදිහට තැනක් සදාගෙන තියෙනවා.. වැදගත් දෙයක් මේ වෙලේදී කියන්නට ඕනෑමයි. අපේ රටේ නම ලෝකයට ගෙනියන්නට වැඩකරනවා මිසක තවත් පහළට දාන වැඩනම් ෆයිවර්වල කරන්න යන්න එපා.. එහෙම වුනොත් ෆයිවර්වල විතරක් නොවෙයි අනෙක් සෑම අඩවියකින්ම අපේ රට පහත් තත්ත්වයකට පත්කර සළකාවී.. ඔයා හරි දෙයක් සාධාරණව කරනවානම් ඔයාට කවදාවත් වරදින එකක් නෑ.. වාසනාව කියන දේ වුනත් ඔයාම ළං කරගන්න ඕන දෙයක්.. නිකන් හිටියා කියලා මුකුත් ලැබෙන්නෙත් නෑ... අනුන් වළට දැම්මා කියලා තමා ගොඩ යන්නෙත් නෑ... ඇයි මේවා මම මෙතනදි කියන්නේ කියලා කෙනෙක්ට හිතෙන්නට පුලුවන්... ඇත්තටම මම මේවා කීවේ නැත්තම් ඒක මෙම ලිපි එකතුවට ලොකු අඩුවක්... ඉතින් යාලුවනේ වැඩක් කරද්දී හැමෝටම එකවගේ ක්ෂණිකව හරියන්නේ නැතිවන්නට පුලුවන්.. ඒත් උත්සාහය, කැපවීම, ධෛර්යය මත මේ සියල්ල අපට වෙනස් කරන්න පුලුවන්... හැමවිටම තමන් විතරක් නෙවෙයි අනුන්වත් ගොඩ යවන්න පුරුදු වෙන්න.. ඒක ඔයාගේ ඉදිරි ගමනටත් ආශිර්වාදයක්ම වේවි. මේවා හිතේ තියාගෙනම පළමු සාර්ථක පියවර දැන් තබමු.



හොදයි..!! කළින් කියපු විදිහට ඔයා කරන්න හිතන් ඉන්න විෂය ක්ෂ්‍රේත්‍රය අනුව මුලින්ම අපි දැන් ෆයිවර් අඩවියට පිවිසෙමු. එවිට පහත පරිදි දිස්වේවි. පහත උපදෙස් අනුව ඉදිරියට යන්න.



1. Your email යන්නට මේ සදහාම අලුතින් හදපු email ලිපිනයක් යොදන්න. මක්නිසාද යත් එයට ලැබෙන සෑම පණිවිඩයක්ම වැදගත් හා අත්‍යාවශ්‍ය ඒවා වීම. ඔබගේ අවධානය මෙම email ලිපිනය සමග නිතැතින්ම තිබීම වැදගත් වේ. ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට sync වීමටද මෙම email ලිපිනය ලබාදෙන්න.




2. Username මෙයද ඉතා වැදගත් අංගයක්. ගොඩ දෙනෙක් කිසිදු සැළකිල්ලකින් තොරව Username ලබාදෙන්නේ. එහෙත් ඔබගේ ෆයිවර් ගිණුමේ වැදගත්ම අංගයක් වන Username එකට ඔබ ලබා දිය යුත්තේ ඔබ කරන කාර්යයන්ට අදාළ එකකි. උදාහරණයක් ලෙස ඔබ කරන්නේ Graphics & Designවලට අදාළ ගිග්ස් නම් ඔබගේ Username එකට Graphic99 වැනි Username එකක් ලබාදීම කළ හැකිය. ඔබ ලබාදෙන Username එක පාරිබෝගිකයින්ට මතක තබාගත හැකි එකක් වීමද තවත් රන් රහසකි.




3. Choose Password මේ සදහා ඔබ වෙනත් අඩවි සදහා ලබාදුන් මුරපදය වෙනුවට වෙනත් මුරපදයක් යොදන්නට සැළකිළිමත්වන්න.

      දැන් I agree the tems of service යන්නට ටික් එකක් දමා සමීකරණයට පිළිතුර දී Join යන්න ක්ල්ක් කරන්න. දැන් ඔබ ඉහත සදහන් කළ email ලිපිනයට ෆයිවර් අඩවියෙන් පණිවිඩයක් එවාවි. ඒ අනුව ගොස් ගිණුම ඇක්ටිවේට් කරගන්න.

      හොදයි..!! ප්‍රධාන වශයෙන් දැනගත් යුතු දේවල් කිහිපයක් මෙම ලිපියෙන් මම ඔයාලට කිව්වේ.. මීළග ලිපියෙන් ෆයිවර් ගිණුමේ තොරතුරු සාර්ථකව පුරවන අන්දමත් සාර්ථකව ගිග් එකක් නිර්මාණය කර ගන්නා අන්දම පිළිබදවත් පැහැදිළි කරන්නම්... ඔබට ජය..!!

 
      එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා... මේ ලිපියෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්තා නම් ප්‍රතිචාරයක් දක්වන අතරේ අපේ සාමාජිකයෙක් වෙන්න... එහෙනම් නැවතත් වැදගත් දෙයක් එකක් හමුවෙමු...